Monday, 30 April 2012

ගෑණු සෝක වෙද්දි... බෙදිල්ල ගැන කථා කරමු.......

ගණංකාරයෙක් වෙන මයියාට නම් බෙදිල්ල කියන්නේ ඉලංකම් අතර සෙල්ලමක්ය. ඒත් මේ කතා කරන බෙදිල්ල නම් ඉලක්කම් බෙදිල්ලක් නොවේය. මේ කථා කොරන්නේ වෙනත් බෙදිල්ලක් ගැනය.

ඉස්සර ඉස්කෝලේ යන කාලයේ ටීචර්ලා අපිව බෙදුවේ වැඩ පුලුවන් එවුනුයි, වැඩ බැරි එවුනුයි කියාය. වැඩ බැරි එවුන් කිව්වේ උන්ට හරියට එක තැනක ඉදගෙන පොතක් පතක් බලන්න බැරි නිසාය. ඒ ඇරෙන්න උන්ට අනිත් වැඩ හොදටම පුලුවන්ය. ඒ හින්දා වැඩ බැරි එවුන්ගේ දවස උනේ ඉස්කෝලේ බිග් මැච් දවස හරි, ස්පෝර්ට් මීට දවස ය. ඒදාට උන් ගෑනු ලමයින්ගේ ඉස්කෝලකට පැන තමන්ගේ වැඩ පෙන්වන්නේය.. වැඩ පුලුවන් එවුන් එහෙමත් නැත්නම් ඉගෙනගන්න එවුන්ගේ දවස උනේ විභාග ප්‍රතිපල එන දවසය. වැඩ පෙන්නපු එවුන් ෆුල් ජොලියේය.

තව ටිකක් ලොකු වී කැම්පස් යන කාලේ වෙන කොට ඒකේ ජේෂ්ඨ උත්ත්මයෝ අපිව බෙදුවේ කොලඹ එවුන් හා කොලඹ පිට කියලා ය. තවත් තැනක අලයෝ හා ගජයෝය. එහෙමත් නැත්නම් ජෙප්පො හෝ ස්වාධීන කියලාය. පොඩි කාලයේ වැඩ බැරි එවුන් හා වැඩ පුලුවන් එවුන් ගුටි කෙල ගන්නේ නැත. ඒත් කැම්පස් ගැට්ටට නම් ගුටි කෙල ගැනීමද අනිවාර්යය. එත්කොට ගැට්ටේ නිර්මානකරුවන් වෙන ජේස්ට උත්තමයන්ට මාර ආතල්ය. තමන් කඩේ යන පක්සෙට ලකුනු ටිකක් දා ගන්න එහෙමත් නැත්නම් අවසාන වසරේ විභාගෙට ස්ටඩි ලීව් එක ටිකක් දික් කර ගන්න මේ ගුටි කෙල ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය.

මූණ පුරා නත්තල් සීයාගේ වගේ ‍රැවුල තියෙන කාල් මාක්ස් මුත්තා ද සමාජය බෙදුවේය. ඒ බෙදිල්ලට කොටස් දෙකක් ය. එකෙකු ධනපති පංතිය වෙන කොට අනිකා නිර්ධන පංතියේ වෙන්නේය. නිර්ධන පංතිය කිව්වේ තමන්ගේ ශ්‍රමය විකුනා කන එවුන්ටය. ඒ ගොල්ලෝ වැඩ පෙන්වන්නේ අදය. කොල්ලෝ කියන්නේ ඒදාට ගෑණු සෝකෙන් මැලවී යනවා කියා ය. මොනා උනත් මයියා අයිති වන්නේ ධනපති පංතියට කඩේ යන කාණ්ඩයට ය. ඒ මයියා ශ්‍රමය වෙනුවට දැනුම විකුනන හින්දාය. දැනුම විකුණා සුදු කොලර් රස්සා කොරන උන් අවසානයේ සේවය කොරන්නේ ප්‍රාග්ධනය හින්දා උන් කඩේ යන්නේ ධනපති පංතියට ය.

ඒ හින්දා මයියා වෙන අය වගේ අද දිනයේ නිවාඩු ගන්නේ නැත. වෙනදාටත් වඩා මයියා අද වැඩ කොරන්නේය. එසේ වැඩ කොර අද දිනයේ (මැයි 01)උපයා ගන්නා නිවාඩුව වෙන දවසක ගන්නේය. ඒ නිවාඩුව ගන්නේ ද තවත් බෙදිල්ලකටය. ඒ බෙදිල්ල නම් බුදුහාමුදුරුවන්ගේ බෙදිල්ලය. එතුමාට අනුව බෙදිල්ල කොටස් හතරකටය. හික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා යනු ඒවාය. ඒ අනුව මයියා උපාසකයෙකි. ඒ නිසා නිර්ධන පංතියට හිමි නිවාඩුවේ වැඩ කොර, ඒ දවසේ නිවාඩුව උපාසකයෙක් ලෙස ලබන 06 වෙනිදා වෙසක් පෝය කිට්‍ටු කර ගැනීම මයියා ගේ බලාපොරොත්තුවය. එක බෙදිල්ලක් ප්‍රතික්ශේප කර තව බෙදිල්ලක් බදා ගන්නේය. බෙදිල්ලේ හැටි එහෙමය....ඕකට ගැනු දුක් වෙලා වැඩක් නැතිය........

Tuesday, 29 November 2011

අධිවේගයේ යැම හෙවත් වැදි බණ......

සාමාන්‍යයෙන්, ලංකාවේ රියැදුරු අසුනේ වාඩි වෙනවයි කියන්නේ, පොඩි අංජනම් බැලිමේ හැකියාවකුත් තියෙන්න ඕනේ කියන එකයි..මොකද කොච්චර මාර්ග සංඥා, අරවා මේවා මොනා තිබ්බත්, ඉස්සහරෙන් යන වාහනකාරයා වමට සිග්නල් දාලා දකුනට කපයිද, පැත්තෙන් එන ත්‍රීවීල්කාරයා ඇගට කපයිද, අතුරු පාරෙන් එන මොටර් සයිකලකාරයා එක පාරට ප්‍රධාන පාරට දමයිද වගේ නොයෙකුත් ප්‍රශ්ණ නිරාකරණය කර ගැනිමේ හැකියාවක්, ලංකාවේ පාරක වාහනයක් එලවන කොයි කවුරුත් සතුව තිබිය යුතු අනිවාර්‍ය හැකියාවක්..ඒකයි ලංකාවේ රියැදුරු මහත්තයෙකුට අංජනම් බැලිමේ හැකියාවක් මදක් හෝ පිහිටිය යුතුයැයි මයියා නිගමනය කලේ....

වාහනයක් එලවන එක ලංකාවේ මෙච්චර ඔලුව කැක්කුමක් උනාට, දියුණු රටක වාහන එලවන එක එච්චර අමාරුවක් නෑ. ඒකට අවශ්‍යවන්නේ ඉස්සරහ යන වාහනය දිහා බලං යෑමත්, මාර්ග සංඥා හා සම්ප්‍රදායන් ‍රැකීමත් පමණයි. ලංකාවේ රියැදුරන් කොච්චර කලබලකාරි, නොහික්මුනු කට්ටියද කියලා තේරුම් යන්නේ පිටරටක ගිහිල්ලා වාහනයක් අතට ගත්තම තමා.....

කොහොම උනත් ලංකාවේදී ඉතා අවිනීත රියැදුරෙක්ව සිට, කැන්ගරු දේශයේදී $1500 ට ( රු, 150,000) ට ආසන්න පොලිස් දඩ ආන්ඩුවට ගෙවා,ඊට අමතරව කන්ඩෙම් වන්නටම කාරයක් හප්පා ගැනිමේන් පසු, විනීත රියැදුරෙකු වීම දක්වා කාලය තුල මයියා ලැබු අත්දැකිම් මේදා පාර පෝස්ට් එකට නිමිත්ත කර ගැනීමට මයියා කල්පනා කලා. ඒකට මූලිකම හේතුවක් උනේ මෑතදී මහජනයාට විවෘත කරන ලද ආශ්චර්‍යයේ පිවිසුම කියලා කියන දක්ශිණ අධිවේගී මාර්ගයේ දැනටම සිදුවෙලා තියෙන අනතුරු සංඛ්‍යාව 40 ට ආසන්න බව දැක්කට පස්සේ...

අධිවේගී මාර්ගයක ධාවනය කිරීමේදී , සෑම තිස්සේම කල්පනාකාරී විය යුත්තේ තමන්ගේ ධාවනය වේගය ගැනයි. කුඩා වේග වලදී තමන්ට පාලනය කර ගත හැකි කරුණක්, අධිවේගයේදී පාලනයෙන් තොර වීම ඉතා සාමාන්‍ය සිදූවීමක්. මාර්ගයේ ධාවනය වන සෙසු වාහනද ඉතා අධි වේගයෙන් ධාවනය වීම නිසා, සුලු අත්වැරදීමක් උනත් මහ අනතුරක් බවට පත් කිරීමට ගත වන්නේ ඉතා ක්ශණික මොහොතක්....ඒනිසා පහත දැක්වේන කරුනු අධීවේගී මාර්ග තුල ධාවනය කිරීමේදී උපකාරී වෙතැයි මයියා උපකල්පනය කරනවා...

1.) වේග සංඥා පුවරුවලට අදාල නියමිත වේග සීමා වලට යටත්ව වාහනය ධාවනය කිරීම:
සාමාන්‍යයෙන් පාරක වංගු වල අරයන් ( horizontal allignments) හා ඒවායේ සැකස්ම (super elevatiaons)තීරනය වන්නේ නියමිත ධාවන සීමා අනුවයි. වේග සංඥා වල දැක්වෙන්නේ මේ අදාල වේග සීමාවනුයි. අධික වේග වලදී මේවයේ නිරවද්‍යතාවය ඉතා වැදගත්....ඒ නිසා අදාල වේග සීමාවලට යටත්ව ධාවනය කිරීම අත්‍යවශ්‍ය කරුනක්

2.) මංතීරූ ( lane) මාරු කිරීමේදී පැති කන්නාඩියට ( side mirror) අමතරව , බෙල්ල හරවා බලා තමන්ට සමීපව වාහනයක් නැති බව සැක හැර ගැනීම;

පැතිකණ්නාඩියට අසු නොවන බ්ලයින්ඩ් ස්පොට් ( blind spot) එකක් තියෙනවාය. අඩුවේග වලදී පැති කණ්නාඩියෙන් පමණක් බලා මංතීරු මාරු කලත් ලග තියෙන වාහනයට තිරිංග යොදා අනතුර වලක්වා ගත් හැක. එහෙත් අධිවේගයේදී මේ සෙල්ලම් බැරිය. එම නිසා තමන් මංතීරුව මාරු කිරීමට අදහස් කරන්නේ නම් පැති සංඥා ලාම්පු ( siganal light) දල්වා නිසි කාලයක් ලබාදී , පැති කන්නාඩියෙන්ද බලා, ඊට අමතරව බෙල්ල හරවා තමන්ට සමීපයෙන් වාහනයක් නොමැති බව සැක හෑර දැන ගැනීමේන් පසුව පමණක් මං තිරූ මාරු කල යුතුය.

3.) ඉදිරියෙන් යන වාහනයක් පෑති සංඥා ලාම්පු (signal) දල්වා මංතීරු මාරු කිරීමට යනබව සංඥා කල පසු එයට ඉඩ දෙන්න...

ලංකාවේ අති බහුතර රියැදුරන් කලබලකාරිය...අනෙකුත් වාහන තුට්‍ටුවටවත් මායිම් නොකරේ..අධිවේගයේදී එකෙක් අනතුරට ලක්වීම යනු, තව කීප දෙනෙක් නිකරුනේ එයට සම්මාදන් වීමය. ඒ නිසා අධිවේගයේදී සාමුහික විනය ඉතා වැදගත්ය....අනෙකාගේ ඉල්ලීමට ඉඩ දෙන්න...

4.) අධිවේගී මාර්ග වල නික්ම යෑම් ( Exits) මාර්ග කීපයක් පවතී. තමන්ගේ ගාමනාත්තයට අදාල නික්ම යෑමේ මාර්ගය ගැන හොද අවධානයෙන් යුතුව ගමන් කරන්න...


සමහර විට මේ නික්ම යන මාර්ගය ( Exit) ලබා ගැනීමට අතපසු වේ. ඒවැනි විටෙක කිසි ව්ටෙක තිරිංග යොදා වාහනය නතර නොකරන්න...පසුපසට ධාවනය නම් කිසිලෙසකවත් නොකරන්න....තමන්ට අදාල නික්ම යෑමේ මාර්ගය (Exit) අතපසු උනොත් කලබල නොවී දිගටම වාහනය ඉදිරියට ධාවනය කරන්න. ඊලගට හමුවන නික්ම යෑමේ මාර්ගයේන් ඉවත් වී ගොස නැවත් අනිත් පසින් අදිවේගී මාර්ගයට ඇතුලු තමන් පැමිනි දිසාවට ධාවනය කර අදාල ස්ථානයට පැමිනෙන්න. නැතහොත් නික්ම යෑමේ මාර්ගය ලබා ගෙන වෙනත් විකල්ප මාරගයක් භාවිතා කරන්න
අමතර පේට්‍රල් ටිකකුත් , ඇතුන් ලවා වත් ඇද්දිය නොහෑකි කාලයත් පොඩ්ඩක් වැය උනාට කරන්න දෙයක් නැත. ජීවිතය ඊට වඩා වටිනවාය...

5.) තමන්ගේ වාහනයේ ටයර් හා ධාවන තත්වය පිලිබදව නිරතුරුව සැලකිලිමත් වන්න..ආරක්ශක බදපටි පැලදීමට අමතක නොකරන්න.

ගෙවීගිය කට්ට සහිත ටයර් සහිත් වාහන අධිවේගයේදී තිරිංග වලට ඔරොත්තු දෙන්නේ නැත. ඒවන් වාහනයක් හදිසියකදී තිරිංග යොදා නතර කාලත්,, ස්කිඩ් වී වාහනය නතර වන විට වෙන්න ඕනා හරිය වෙලා ඉවරය

6.) තමන් වාහනයක් ඉස්සර කිරීමට අදහස් නොකරන්නේ නම් හැකි සෑම විටම තමන්ගේ වම් අත පැත්තේ මං තීරුවේ ධාවනය කරන්න.


අඩිවේගය ආශ්වාදජනකය. මෙය විදීමට හැකි වන්නේ විදිමත්, හික්මුනු රියැදුරෙකුට පමනි.....අශ්චර්‍යට පිවිසෙන්නන්ට ජය...

P.S : just saw this user guide made by RDA 01/12/2011

Saturday, 5 November 2011

කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ නවතම වර්ශන් එක...........චාතුර්යා

ඕපන් සො(ර්)ස් මෘදුකාංග වල දියුණුව අතිමහත්ය..

නොබෝදා කතන්දරශූරීන්
විශේෂයෙන් බ්ලොග් අවකාශයේ ලිංමැඩියන්ටත්....
පොදුවේ ලෝකසත්වයා කෙරෙහි කරුණාවෙනුත්
එලිදක්වන ලද
'කතන්දරගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ'
නවතම වර්ශන් එක
දැන් එලි දක්වා ඇත.


'කතන්දරගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍ය' යන්න දිග වැඩිය..
එමනිසා ඔසී ක්‍රමයට නම කෙටි කරමි...
එහි අළුත් නම 'චාතුර්යා' ය
කතන්දරගේ නම හැලිම ගැන කතන්දර තරහා වෙන්නේ නැත.
කොහොමත් ඕපන් සො(ර්)ස් වල කොපි රයිට්ස් නොමැත.
ඒ ඇරත් වචන වල තේරුම අනවශ්‍ය බැවින්
'චාතුර්‍යා' බැරි නම් ඕන මගුලක් දමා ගත්තාට වරදක් නැත....
මේ සංකල්පෙට නම් කොපිරයිට්ස් ඇත්තේය...
එහි අයිතිය ....
මේ බ්ලොගයට නිතර යන එන බුවාගේ ය.
හැබැයි ඔන්න ටෙලියේ ගිය
චාතුර්යා බලා
සිත සසලවා ගත් නංගිලා නම්
'චාතුර්යා' නම කෙලසීම ගැන
කැමති වෙන්නේ නැත...

පලමු චාතුර්යා එකෙදී මාරයා පරාජය උනේය...
ඒ ගැන වැඩි කථා ඕනෑ නැත..
අබුද්ධස්ස කාලේ ඒවා ටොයිස් වැඩය..

දෙවන චාතුර්යා එක නම් නියමය...
එය අත්විදීමට නම් පේරා ඉන්ජිනියරින් යා යුතුය..
අහෝ ඛේදයකි....
මේ චාතුර්‍යාව නම් 'අධිනිෂ්ක්‍රමනය' කලෝ නම් ස්වල්පය...
වැඩි දෙනා මේ චාතුර්‍යාව වැලද ගත් අයය...
ඒ තුලින්ම දුක පරාජය කල අයය.
සමහරෙක් නම් ඒ මගින්ම
දකුනු කුරු දිවයිනේ
කැන්ගරුවෝද දැක්කෝය...
එකල චාතුර්යා මෙකල අවිචර්‍යා වන්නේය..
නැග්ග ඉණිමගට පයින් ගැසීමක් මෙහි ඇත්තේ නැත..
මන්ද මේවා ඉනිමගේ නගින කාලේ හිතුනු දේවල්ය..

චාතුර්යාගේ අලුත්ම වර්ශන් එක නම් තෙවෙනි එකය..
ඒ අනුව කුඩ්ඩාගේ කුඩු ගැසීම ද චාතුර්යා එකකි..
එය වන්නේ මෙහෙමය..
දුක නම් කුඩුය...කුඩු නැති වීමය
දුකට හේතුව... කුඩු ගන්න මුදල් හිග කමය..
දුක නැති කිරීමේ මාර්ගය නම් හොරකම් කර මුදල් සෙවීමය..
දුක නැති කිරීම නම් ඒ මුදලින් ...
ආතල් එකේ ශොට් එක ගැසීමය..
ඒ අනුව කුඩ්ඩගේ කුඩු ගැසීමද
'කතන්දරගේ ඕපන් සො(ර්)ස් චතුරාර්‍ය සත්‍යකි'....
මෙහි 'අධිනිශ්ක්‍රමණයක්' නම් නැත..

චාතුර්යාගේ හතර වෙනි වර්ශන් එකක්ද ඇත...
එයට අනුව අම්මලා දරුවන් දමා.....
මැදපෙරදිග යෑම ද චාතුර්යා එකකි..
දුක නම් දරුවන් බඩ ගින්නේ ඇඩීමය..
දුකට හේතුව නම් මුදල් මදිකමය...
දුක නැති කිරීමේ මාර්ගය නම් රට යෑමය..
දුක නැති කිරීම නම් අම්මා රට යෑම හා
තාත්තා කැමති අතක් බලා ගැනීමය..
මේය තුන්වෙනි වර්ශන් එකටද වඩා වැඩි දියුණුය...
මන්ද..
මෙහි 'අධිනිෂ්ක්‍රමණ්යක්ද' ඇත..
මාරම ආතල්ය..

ඉතිං මහතුනි...
බුදුවීමේත්...කුඩුගැසීමේත්....රට යැමේත් වෙනස කිම?
වෙනසක් තේරුනොත්
තවම ඔබ ලිං මැඩියෙකි..
තරහ අවසර...

ආතල් ගත් ඔබ සැමට
ස්තූතියි..


------------- පිදුම -----------
ලිංමැඩියන් කෙරෙහි පතල වූ මහා කරුනාවෙන්
'ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සතය්‍ය ' ලොවට දයාද
කල කතන්දරශූරින්ට..



උපහාසයත් අපහාසයත් අතර වෙනස
තේරුම් ගෙන
එහි ප්‍රීතීප්‍රමෝදයේ කිමිදෙමින්.......
මෙය ලියු මම
-----------මයියා-------------



ප:ලි:
කතන්දරශූරීන්ගේ නම සදහන් වීම නිසා කුමක්දැයි බැලීමට
පලමු වරට මෙම බ්ලොගයට ගොඩ වී
වැඩකට ඇති යමක් නොදැක
සිත් අමනාපයෙන් හැරී යන
ඔබට
මීට පෙර ලිපිය හෝ එම ලිපියේ කමෙන්ට් ටික කියවීමෙන්වත්
වැඩකට ගත හැකි යමක් ලබා ගැනිමට
හැකි වේයැයි
මයියා අවංකව කල්පනා කරයි...

Friday, 4 November 2011

වැල යන අතට මැස්ස ගැසීම හෙවත් චතුරාර්‍ය සතය්‍ය හා අභිනිශ්ක්‍රමණය පැටලවීමට අනුබල දීම

චතුරාර්‍ය සත්‍යය ලෙස අප බොහෝ දෙනා අදුනා ගෙන තිබෙන්නේ බුදුදහමේ දැක්වෙන සංකල්පයක්ය. මෙහි චතුරාර්‍ය කියන වචනය විභේදනය කර ගතහොත් එය චාතුර්+ආර්ය්‍ය ලෙස ගත හැක.මෙහි චතු යනු සතරක් යන අදහසින් යොදා ඇති අතර ආර්ය යනු උතුම් හෝ ශ්‍රේෂ්ඨ යන අදහසක් ගම්‍ය වෙනවා ලෙස ගත හැක. ඒ කෙසේ වෙතත් බුදුදහම තුල චතුරාර්‍ය සත්ය්‍ය ලෙස යොදා ගන්නේ මෙහි වචනාර්ථයටත් වඩා වෙනස් තේරුමකින් යුක්තවය. ඒ අනුව ආර්ය්‍ය ලෙස ගෙන ඇත්තේ ' කාලයේ පහර කෑමට ලක් නොවන සදාකාලික සත්‍යය' වෙනුවෙනි. ඒඅනුව ලෝකය කෙතරම් දියුනු උවද, නැතද, කොතරම් පහසුකම් තිබුනද නැතද, චතුරාර්‍ය සත්ය්‍ය ලෙස හදුන්වා ඇති සංකල්පය වලංගුය.

මෙහි සදාකාලික යන්න මදක් විමසා බැලීමට සුදුසුය. උදාහරනයක් ලෙස ගතහොත් මා ඉදිරිපිට ඇති බිත්තිය සුදුපාටය.එය කවුරු කොහොම කිව්වත් මේ වෙලාව තුල මයියාට සාපේක්ෂ සත්‍යකි. එහෙත් මේ කියමන තුල සදාකාලික වලංගුතාවයක් නොමැත. මන්ද කාලයේ ගලා යෑම හමුවේ මේ බිත්තිය සදාකාලික සුදුවර්ණයෙන් පවතින්නේ නැති අතර , සුදුපාට සම්භන්දයෙන් මයියාගේ පවතින අදහසද කාලයත් සමග වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහෙත් චතුරාර්‍ය සත්‍ය ලෙස බුදුදහමේ දැක්වෙන්න මෙහි දැක්වූ සියලු සාපේක්ශතාවයන් අභිබවා යන්නක් බව එහි කියැවේ. කෙසේ නමුත් තවත් එකක් කිව යුතුය. මෙය හුදෙක් විශ්වාසයක් පමනක් බවය. එනම් මෙය සාදනය කර පෙන්විය නොහැක්කක් බවය. එහෙත් බුදුදහමේ කියැවෙන අන්දමට ඕනෑම අයෙකුට මේම චතුරාර්‍ය සත්‍යයේ දැක්වෙන්න තම තමන්ගේ නැණ පමණට ජීවිතයට සමීප කර ගත හැක්කකි. ඒසේ කිරීම තුලින්ම මෙම සත්‍යය වඩ වඩා ප්‍රත්‍යක්ශ කර ගත හැකි බවක් එහි ඉගැන්වේ.

කරුනු මෙසේ තිබියදී, අයෙක් තමන්ට පමණක් හෝ පුද්ගල කණ්ඩායමකට පමනක් , තමන්ගේ ජීවිතයේ එක් අවදියක පමණක් සත්‍ය වන යම් සංසිද්ධියක් හැදින්වීමට 'චතුරාර්‍ය සත්‍ය' වචනය යොදා ගන්නේ නම් එය එතරම් ගැලපෙන ක්‍රියාවක් බව මයියාට හැගී යන්නේ නැත. විෂේශයෙන්ම කාලයේ ගලා යෑම හමුවේ ලෝකයේ සියලු සංකල්ප කාලයේ පහර කෑමට ලක්වෙන අවස්තාවක, පුද්ගලානුබද්ධ වූ ඇතැම් සිදුවීමක් 'චතුරාර්‍ය සත්‍ය' යන වචනය පෙරදැරි කොට ගෙන ඉදිරිපත් කිරීම, එම වචනයේ සැබෑ තේරුම දන්නා, එය විශ්වාස කරන බොහෝ දෙනෙකුගේ බුද්ධියට කරන සියුම් සරදමක් ලෙසය මයියා ට හැගී යන්නේ....

බුදුදහමේ සාහිත්‍ය තුල කියැවෙන 'අභිනිශ්ක්‍රමණයද' මෙයාකාරම ඉතා උසස් සිදූවීමක් විස්තර කිරීමට යොදා ගන්නා වචනයකි. තමන්ගේ ලෙයින් උණු උණුවේ උපන් බිලිදා හැර දමා, සියලු ලෝකවාසී සත්වයා කෙරෙහි උපන් කරුනාවෙන්, ආත්ම ගනනක් පෙරුම්පුරාගෙන ආ යම් අධිෂ්ඨානයක් වෙනුවෙන් කිසියම් පුද්ගලයකු සිදුකල ගිහිගෙය හැර යාමක් මෙම වචනයෙන් විස්තර කෙරේ. 'අභ්නිශ්ක්‍රමනය' යන්නේ වචනාර්ථය කුමක් උවද එහි බුදුදහමේ 'සාහිත්‍ය' තුල යොදා ගැනෙන්නේ මෙවන් අති ශ්‍රේෂ්ඨ අරමුනක් වෙනුවෙන් ගිහි ගෙය හැර දමා යාමක් වෙනුවෙනි. එසේ නොමැතිව , සාමාන්‍ය පුද්ගලයකු සත්‍ය සොයා යෑම වෙනුවෙන් ගිහිගෙය හැර දමා යාමක් 'අභිනිශ්ක්‍රමණ්ය' ලෙස හදුන්වන්නේ නැත. මුල කී අකාරයටම,කිසිවෙක් තමන්ගේ පෞද්ගලික සුඛ විවරනය තකා, තමා අදුනාගත් දුක් සමුදායක් අතහැරීම නම් කුමන අකාරයටවත් 'අභිනිශ්ක්‍රමණයක් ' ලෙස හදුන්වා ගැනීම නම් මදක් විසුලු සහගතය.

මයියා මේ වචන සම්භන්දව මෙසේ පෝස්ට් එකක් දැමීමට තීරනය කලේ කතන්දරගේ වර්තමාන පෝස්ට් එකක වචන යොදා ඇති සම්භන්දව , මයියාට පේන වරදක් පැහැදිලි කිරීමටය.කතන්දරම වරක් නිවැරදිව ප්‍රකාශ කර ඇති අන්දමට බ්ලොග් අවකාශය සමාජයේ නිවැරදි ප්‍රතිමුර්තියකි. අප සමාජය යනු පබාලා පාර්ලිමෙන්තු යවන , මැර මර්වින්ලා ඉහලම චන්දයෙන් පාර්ලිමේන්තු යවා වන්දනාමාන කරන, පුද්ගල ප්‍රතිරූප ඉදිරීයේ එහෙයියන් වන කොන්ද කඩා ගත් සමාජ්යකි. වැල යන අතට මැස්ස නොගසා, තමා විශ්වාස කරන සත්‍යක් වෙනුවෙන් පෙනී නොසිටින තාක් කල් බ්ලොග් අවකාශයද මේ කී සමාජය නැමැති මඩගොහොරුවේ එරී දගලන්නෙකි.

Sunday, 2 October 2011

ඇමෙරිකානු බිල්ලා හා ජ්විපේ බිල්ලා: Is Kumar Gunarathnam a CIA agent?

හේතූ කාරනා කවරක් උවද ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා ප්‍රජාවට වර්තමාන රාජපක්ෂ රෙජිමය දිරවන්නේ නැති බව දැන් සක් සුදක් සේ පැහැදිලිය. විකිලීක්ස් වෙබ අඩවිය මගින් නිරාවරණය කෙරුනු වර්තමාන ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිනී පැට්‍රේශියා බුටෙනිස් මහත්මියගේ රහසිගත කේබල් පණිවුඩ, ඇමරිකානු දකුණු ආසියා කලාපීය ප්‍රධානී රොබට් ඔ බ්ලෙක් මහතාගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයන් හා එහිදී ඔහුගේ වැඩපිලිවෙල, වර්තමාන මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කිරීමට යත්න දරන යෝජනා, දරුස්මාන් වාර්තාව හොර රහසේම සමුළුගත කිරීමට ගත් උත්සහයන් මේ සදහා ඕනවටත් වඩා නිදසුන්ය. කෙසේ නමුත් එලිපිට නම් රොබට් මහතා රෙජිමයේ වෙනසක් සදහා ඇමෙරිකානු උත්සහයක් පිලිබද අදහස ප්‍රතික්ශේප කර ඇති බව ද සදහන් කල යුතුය.

කෙසේ නමුත් මයියා ට පෙනෙන අයුරට නම්, ඇමෙරිකාව රෙජිමයේ වෙනසක් බලාපොරොත්තු වන බව ප්‍රයෝගික යථාර්තය ය. මෙහිදී රෙජිමයට විරුද්ධ ඇමෙරිකාවේ විකල්ප ජොකියා වන්නේ ඒජාප නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාය. එසේ වන්නේ මුලු ශ්‍රී ලංකා දේශපාලන සිතියමේම බටහිරට විශ්වාස එකම ශ්‍රී ලාංකික දේශපාලඥයා රනිල් නිසාය. මොන තරම් පක්ශය ඇතුලේ කැරලි පිට කැරලි ගැසුවත් රනිල් මහතා කෙලින් සිටින්නේ ඇමෙරිකාව හා ඉන්දියාව යන දෙපල එතුමාට දී ඇති යම්කිසි සහතිකයක් නිසා විය යුතුය. 'ආණ්ඩු පෙරලනවා කියා සංකල්පයක් නැති බවත්, ඇත්තේ ආන්ඩු වැටෙනවා කියා දෙයක් බවත්' වරෙක එතුමා ප්‍රකාශ කර ඇත්තේ මේ නිසා විය යුතුය. මන්ද එතුමාට අනුව ඇමෙරිකාව හා ඉන්දියාව එකතු වී රාජපක්ශ රෙජිමය වට්ටනු ඇති අතර, ඔ‍ටුන්න ජනපති මහින්දගෙන් ගලවා තමන් වෙත ලැබෙන තෙක් ඉවසා වදාරා සිටිය යුතුය. තවද එකක් කිව යුතුය. අමෙරිකාව හා ඉන්දියාව රෙජිමය පෙරලා රට බාර දෙන්නේ රනිල්ට මිසක් යු එන් පි යට නොවන බවය. කොටින්ම කිව්වෝත් සජිත් ප්‍රේමදාසටවත්, කරු ජයසූරීයටවත් ඉන්දියාවේ කෙසේ වෙතත් ඇමෙරිකා ප්‍රමුඛ යුරෝපා සහය නැත්තේය.කේක් කෑල්ල කටට වැටෙන තුරු රනිල් ආතල් එකේ සිටින්නේ මේ බව ඔහු හොදින් දන්නා නිසාය.

රෙජිමයේ වෙනසක් අපේක්ෂාවෙන් ඇමරිකානු ප්‍රමුඛ යුරෝපා තානාපති කාර්ය්‍යාල කොතරම් දහං ගැට යෙදුවත් ලංකාව තුල භූමීයේ යථාර්ථය රාජපක්ශ පාලනයට වාසිදායකය.රටට වාසිය කෙසේ වෙතත් ආණ්ඩුවේ ස්ථාවරත්වය උදෙසා ජනපති මහින්ද තමන්ගේ දේශපාලන තුරුම්පු නියම කාලයට, ක්‍රමේට, සෙල්ලම් කරන්නේය. අන්තර්ජාතික දේශපාලනය තුල කෙසේ වෙතත් රට ඇතුලේ නම් රාජපක්ශ දේශපාලනය ගම් දනව් සිසාරා ආක්‍රමණය කර හමාරය. කඩින් කඩ පවත්වන ඡ්න්ද වල විජයග්‍රාහකයා රාජපක්ශ ය. රනිල් යටතේ යූඑන්පී සාම්ප්‍රදායික ඡ්න්ද පදනම සේදී යමින් පවතින්නේය. පශ්චාත් යුධ සමය තුල ආකර්ෂනීය සටන් පාඨ නොමැතිකමෙන් ජවිපේ සාමාන්‍ය සාමාජිකයන් තුල පක්ශය කෙරෙහී විශ්වාසය හීන වෙමින්ය. ඇමෙරිකානු සහය ඇතිව හෝ නැතිව, රාජපක්ශට එරෙහි සියලු බලවේග එකම කොඩියක් යටතට එක්කාසූ කල ජනරාල් හිරේය. ඔහුව බලයට ගෙන ඒමට උත්සහ කල දේශපාලන බලවේග සී සී කඩය.කොහොමත් ජනරාල්ගෙන්, රෙජිමයට එල්ල වන දේශපාලන තර්ජනය හීන වනතෙක් , ජනරාල් හිරෙන් නිදහස් වේයයි සීතීමද උගහටය. මේ තත්වය තුල, එනම් ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුල රාජපක්ෂ පෙරලීම නම් පවතින සමාජ යථාර්තය තුල ප්‍රායෝගිකත්වයෙන් බොහෝ ඈතය. මේ බව කාටත් වඩා හොදින් දන්නේ ඇමෙරිකා ප්‍රමුඛ බටහිර තනාපති කාර්ය්‍යාලත්, යූඑන් පී නායක රනිල් වික්‍රමසිංහයත්ය.


ප්‍රජාත්‍රන්ත රාමුව තුල කොර ගන්නට බැරි දේ ඊලගට වෙන්නේ සිවිල් කැ‍රැල්ලක් හරහාය. ඉතිහාසයේ පලමු වරට 1953 දී ඉරානයේ මොහොමඩ් මොසාඩේ බලයෙන් පහ කරමින් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා පටන් ගත් මේ සිවිල් කැරලි සෙල්ලමේ නවතම අත්හදා බැලීම ලිබියාවේ ගඩා‍ෆි ය . ශක්තිමත් ප්‍රජාත්‍රන්ත ව්‍යුහයක් යටතේ, මහජන ඡ්න්දයෙන් පත් නොවන්නට මේ සෙල්ලම මේ වන විට රාජපක්ෂලාට විරුද්ධව ද කර හමාරය. මහජන ඡන්ද බලය නිසාම ලිබියාවේ තරම් ලේසියෙන් ලංකාවේ මේ සෙල්ලම පෙන්වීමට අපහසුය.ජනාධිපති මහින්ද ද මේ බව හොදට තේරුම් ගෙන මහජන ඡ්න්ද බලය යටතේ දාන්න පුලුවන් හැම සෙල්ලමම රටේ යහපතට කෙසේ වෙතත් ආන්ඩුවෙ පැවැත්ම පිනිසම දමන්නේය. ශ්‍රී ලංකා දේශපාලනයේ හොදම කටහැකරයන් ටිකද රාජපක්ශ සෙවනේ සිටීම ද රෙජිමයට විරුද්ධ කැ‍රැල්ලක් සදහා එක්තරා බාධාවකි.කෙසේ නමුත්, කීප දෙනෙකු හැරෙන්නට , නිසි කාලය පැමිනි පසු මොවුන්ගෙන් බහුතරයක් රාජපක්ෂගෙන් ගැලවීම ද ඒතරම් අමාරු කාරියකුත් නොවන්නේය. නැව ගිලෙන්න යන බව දන්නා කොට නැවෙන් එලියට පැන ගැනීමට තරම් මේ දේශපාලන මීයෝ සටකපටය.

රෙජිමයේ වෙනසක් සදහා අනිත් හරහට හිටින කාරණය නම්, හෞතික වශයෙන් මෙවන් කැ‍රැල්ලක් ආරම්භ කිරීමට කණ්ඩායමක් ලංකාව ඇතුලතින් සොයා ගැනීමට නොහැකි වීමය.උතුරේ යුද්ධයෙන් හොදටම බැට කා හෙම්බත්ව සිටින උතුරේ තරුණයා නැවත වරක් නුදුරේදී ආයුධ අතට ගනියී යැයි සිතීම විහිලුවකි. අඩියෙන් අඩිය යොදවා තිබෙන හමුදා ආරක්ශාව අස්සේ තවත් එවැනි කැ‍රැල්ලක් ගැන සිතීම, උතුරේ සිටින දරුණුම අන්තවාදියෙක් උවද දෙවරක් සිතා බලන කාරණයකි. ග්‍රීස් යකුන් පිටිපස සිටින්නේ කවරෙක්දැයි අවසාන නිගමනයකට පැමිනීමට කරුනු කරනා ප්‍රමාණවත් නොවූවද, ඒ පි‍ටුපස නැගෙනහිර මුස්ලිම් අන්තවාදය සිටී නම් එයද රාජපක්ශ රෙජිමයට එරෙහි යොදා ගැනීමකට ඉඩ කඩක් ඇත. නමුත් මුස්ලිම් අන්තවාදයේ ප්‍රධානම් දුර්වල කම නම්, දෙමල ඊලාම් ත්‍රස්ත්‍රවාදය මෙන් ප්‍රදේශයක් , ජන කොට්ඨාශයක් මූලික කර ගත් ශක්තිමත් මතවාදයක් එය හට නොමැති වීමය. කොටින්ම කියතොත්, ප්‍රභාකරන් මැවූ සිංහල බිල්ලා හෝ ජවිපේ මැවු ඉන්දියානූ බිල්ලා මෙන්, බහුතර මුස්ලිම් තරුනයාගේ ආවේගශීලිත්වය එලියට ගැනීමට තරම්, හරි හමං බිල්ලේක් මවා ගෑනීමට මුස්ලිම් අන්තවාදය තවමත් සමත් වී නැත. කෙසේ උවත් ඒ සදහා ඉඩ කඩක් නැත්තේම යයි පැවසීමට ද නොහැකි බව මයියා පිලිගනී.

මේ නයින් බලන කල රෙජිමයට විරුද්ධව ආයුධ අතට ගැනීමට තරම් හරි හමං බලවේගයක් උතුරෙන් හෝ නැගෙනහිරෙන් සොයා ගැනීමට ඇමෙරිකාව අපෝහොසත්ය. ඉතිරි වී ඇත්තේ දකුනේ සිංහල තරුණයාය. 71 කේ කැ‍රැල්ලේන් පසුව අවුරුදු 17 කට පසුව නැවත වරක් 88 දී සිංහල තරුණයා ආයුද අතට ගත්තේය. දැන් 88 සිට අවුරුදු 23 ක් ගත වී ඇත්තේය. ඒ අනුව බලන කල නැවත සිංහල තරුණ නැගිටවීමක් සදහා ඉන්ජෙක්ශන් ගසන්නට කාලය හරිය. කාලය හරි උනාට වැඩක් නැත. මන්ද ඒ සදහා නායකත්වයක් දීමට බලවේගයක් සිංහල දේශපාලන සිතියම තුල නොමැත. දැන් තියෙන්නේ ඉස්සර තිබ්බ ජෙවීපි එක ද නොවන්නේය. ඉස්සර තිබ්බ ජේවීපි එකට ආන්ඩු බලයේ හෝ පාලිමේන්තු බලයේ රස දැනී තුබුනේ නැත. සෝමවංශලා , අනුරලා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමය හරහා තමන්ට ලැබී තිබෙන සිවිල් බලය අතහැර දමා නැවත කැලෑ වැදීම සිදු කරන්නේ නැත. සෝමවංශ ඒ සදහා නාකි වැඩිය. නාකි වෙනකොට ආයෙත් කැලේට යන්න හිතෙන්නේ නැත. ප්‍රභාකරන්ට, කරුනාට සිදු වූයේ ද එයයි. අනුර ලාට නම් යුඑන්පී එකත් එක්ක ගනුදනු කොට පාර්ලිමේන්තු බලයේ රසය වැටී ඇත. කොහොමත් මයියාට හිතෙන විදිහට අනුර යනු ජෙවිපි එකට විදේශීය ඔත්තු සේවාවක් විසින් ඇතුලු කරන ලද හෝ බිලිබා ගන්නා ලද පුද්ගලයෙකි. ටිල්වින් නම් නැවත කැලෑ වැදිය හැකියි සිතිය හැකි මුත් කැලෑ වැදීම හරහා තමන්ගේ පක්ශය විනාශ වේයැයි ඔහු සිතනවා විය හැක.

කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී , 653231890v දරන ව්‍යාජ හැදුනුම්පත හා M1938494 දරන ව්‍යාජ ගමන්බලපත්‍රය දරන, රත්නායක මුදියන්සේලාගේ දයාලාල් නමින් පෙනීසිටින ජවිපේ කාඩරයන්ගේ සැබෑ නායකයා, ප්‍රේමකුමාර ගුණරත්නම් ගේ ලංකා දේශපාලන ආගමනය, සිදුවන්නේ මේ අතරතුරය. මනා සංවිධාන ශක්තියකින් හා විවිධ කුසලතාවලින් සමන්විත පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ හිටපු සිසුවකු හා 88 භීෂණ සමයේ ජිවීතය බේරා ගත් ජ්‍යෙශ්ඨ ජවිපේ සාමාජිකයකු වූ මොහුගේ ශ්‍රී ලංකා ආගමනය ( ඕස්ට්‍රේලියාවේ සිට) වර්තමාන ශ්‍රී ලංකා දේශපාලන සමතුලිතතාවය බිද දැමීමට හේතූවන්නේය. සෝමවංශ ප්‍රමුඛ ජවිපේ පාර්ලිමේන්තු නඩය , නැවත සංධාන දේශපාලනයකට නොයන බව පුන පුනා ප්‍රකාශ කරද්දීත්, සංධානගත දේශපාලනයේ දෝශ පෙන්වා දෙමින් ජවිපේ වඩාත්ම ‍රැඩිකල්වාදී තරුණ කොටස් සමග ප්‍රේමකුමාර ලා ජවීපේ අයිතිය සදහා සටන් වැදීම ගැඹුරින් විශ්ලේෂනය කල යුතුය.

තාරුණ්‍යය ජව සම්පන්නය. හිතුවක්කාරය. ප්‍රතිඵල ලබා ගැනීම සදහා නොඉවිසිලිමත්ය. 88 භීශණ සමයේ කුඩා ලමුන් වූ චමීර කොස්වත්තලා, දුමින්ද නාගමුවලා, උදුල් ප්‍රේමරත්නලා දැන් තරුන වියේය. විප්ලවවාදී අදහස් වලින් ඔළුව කුරුවල් කරගත් මොවුන් , ප්‍රජාත්‍රන්ත රාමුව තුලදී ජ්විපේ දිගින් දිගට ලබන පසුබෑම් හමුවේ නොඉවිසිලිමත්ය. පවතින කුමන ආණ්ඩුවකට උවද විරුද්ධ වන මොවුන්ගේ සිහින රාජ්‍යය නම් නිර්ධන පංති අඥාදායකත්වය ය. 88 භීශනයේ අත්දැකීම් නොමැති මොවුන් සැබෑ මරණ බිය අදුනන්නේ නැත. බජාර් එකේ භාශාවෙන් කියනවා නම් තාම හොද හෝටලකින් කා නැත. හොද හෝටලයකින් කන තුරු මොවුන් හෙනම වීරවරයෝය.ඒ නිසාම ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුල ලබාගත නොහැකි බලය වෙනුවෙන් විප්ලවය දියත් කිරීමට මොවුන්ගේ පසුබෑමක් නොමැති බව නොකිවමනාය. ඒ වෙනුවෙන් ඇති එකම බාදාව යුද්ධයෙන් තෙම්පරාදූ වෙච්ච හමුදාවක් සිටීම හා මිනිස්සුන්ට කැරලි කෝලහාල එපා වී තිබීම පමණය. එහෙත් ශූර සංවිධායකයකු වන කුමාර ගුනරත්නම් නායකත්වය දෙන්නේ මෙවන් ජව සම්පන්න, ආවේගශීලී මුග්ධ කණ්ඩායමකටය.

මේ කණ්ඩායම ගැන තවත් කතා කල යුතුය.සෝමවංශලාට, අනුරලාට, ටිල්වින්ලට වේදීකාවේ වීරයන් වීමට වේදීකාව යට සිට දාඩිය කදුලු වැගිරුවේ වර්ථමානයේ ප්‍රේමකුමාර් සමග අත්වැල් බැදගෙන සිටින මේ කන්ඩායමය. ජවිපේ හීනය වූ සාමාජවාදී සමාජය වෙනුවෙන් අවිආයුධ අතට ගන්නට, ඒ වෙනුවෙන් තම මුලු ජීවීතයම කැප කරන්නට, තම මුලු පෞද්ගලික ජීවිතයම පක්ශයට පූජා කල, ආත්මාර්ථකාමය වෙනුවට සහෝදරත්වය මුල් කර ගත්ත, එහෙත්, සමාජවාදී විප්ලවයෙන් ඔළුව කුරුවල් කරගත්ත, මේ කන්ඩායම සූදානම්ය. කොටින්ම නිර්ධනපංති විප්ලවය ගැන හීන මවන දැඩි මතධාරී ජවිපේ කේඩරය මොවුන්ය.ජ්විපේ සැබැ ශක්තිය වන්නේ ද මොවුන්ය. 88 භීශණය අවසානයේ ජවිපේ නැවත නැගීටීම තුල ලංකා සමාජය තුල ඔප්පු කල පෙන්වූයේ මොවුන්ගේ ජීව ගුණයයි.ඒ නිසා කොතරම් මෝඩ උවත් මොවුන්ගේ කැපවීම හා අධිෂ්ඨානය පිලිබද නම් සැකයක් ඇති නොකර ගත යුතු ය.

තාත්වික හෝ අතාත්වික සමාජ අසාධාරණයට විරුද්ධව නිරායාසයෙන් ගොඩනැගෙන 'තරුණ' ප්‍රතිවිරුද්ධත්වය ප්‍රචන්ඩකාරීය. 88 වන තෙක් ජවිපේ තම බලය ලබා ගැනීමේ ක්‍රමය ලෙස විශ්වාස කලේ මෙම තරුණ ප්‍රචන්ඩත්වය පවතින රජයට එරෙහි යෙදවීමය. එය කම් ඔ ගෝ චිකාගෝ ප්‍රතිපත්තියකි. හරිගියොත් ආන්ඩු බලය ය, නැති උනොත් සමූලඝාතනය ය.තම තරුණ කාලයේදී දැඩි අවේගශීලි ප්‍රචන්ඩකාරී දේශපාලනය නිරතවන ඇතැමුන්, කාලයත් සමග වයසට යෑමේදී, ආවේගයශීලිත්වය අතහැර , සම්මුතිය හා බහුතරය මතය සමග එකග වෙන්නේ, ප්‍රයෝගිකත්වය හා උපයෝගීත්වය පිලිගනිමිනි. අද සෝමවංශලා, ටිල්වින්ලා පසු කරන්නේ ඒ අවධියය. දේශපාලනයෙන් තෙම්පරාදූ වූ ප්‍රේමකුමාර ගුනරත්නම් ද මේ කාණ්ඩයටම වැටිය යුතුය. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුල පවතින සමාජ සුබසාධනය මුල් කර ගත් ධනවාදය පිලිබද පලමු ගනයේ අත්දැකීම් සහිත පුද්ගලයෙකු වශයෙන් (වීරවOශගේ එලිදරව්වෙන් පසු 2006 වර්ෂයේ සිට ඔහු තම පවුල සමග ජීවත් වී ඇත්තේ ඕස්ට්‍රේලීයාවේ සිඩ්නි නුවරය) ඔහුගෙන් මෙවැනි වලපල්ලට ගිය ආයුධ සන්නද්ධ විප්ලවීය මතවාදයක් බලාපොරොත්තු විය නොහැක. එහෙත් සතය්‍ය පුදුම සහගතය. ඔහු තම අනුගාමිකයන් හා කථා කරන්නේ 'සැබැ වමක් ' ගැනය. සෛධාන්තික වමකට, ප්‍රජාත්‍රන්ත රාමුව තුල ලංකාවේදී රාජ්‍ය බලය ඇල්ලිය නොහැකි බව ඉතිහාසය යලි යලිත් සනාත කර අවසානය. එසේ නම් ප්‍රේමකුමාර්ලා ගොඩ නගන සැබැ වම රාජ්‍ය බලය ලබා ගන්න යොදාගන්නේ කවර උපක්‍රමයක්ද?. විප්ලවය හැරෙන්නට ඒ සදහා වෙනත් විකල්පයක් නැති බව ප්‍රායොගික හා සෛධානතික යථාර්ථය ය. පවතින සමාජ හා දේශපාලන වටපිටාව තුල වර්ථමානයේ , විප්ලවයක් සදහා කිසිදු ඉඩකඩක් නොමැති නමුත්, රාජපක්ෂ ආන්ඩුව නීතිය කා හටත් එකලෙස ක්‍රියාත්මක නොකිරීම හා දූෂන වංචා පිලිබද නිහඩ බව හමුවේ, මෙවන් විප්ලවයක් කිරීමට අවශ්‍ය පසුබිම අනාගතයේදී නිර්මාණය වීමට නියමිතය. ඇතැම් විට මෙය කාලය පිලිබද පුරස්නයක් පමනී. නිසි කාලය පැමිනි විට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර තානාපති කාර්ය්‍යාල තම බලල් අත්වන රාජ්‍ය නොවන සංවිධාන හා පුවත් පත් හරහා ඒ සදහා අවශ්‍ය ජනමතයද ලංකා සමාජය තුල නිර්මානය කරනු අවිවාදිතය.

එසේ නම් කුමාර මහතාගේ දේශපාලන ආගමනය හරහා සිදු වී ඇත්තේ කුමක්ද? වර්තමානයේ ඔහුගෙන් සිදුවන්නේ කුමන ක්‍රියාවලියක්ද? පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයේ රසය වැටී ඇති , මුහුකුරා ගිය නායකත්වයක් යටතේ, ජවීපේ තුල මිය යමින් තිබෙන තාරුණ්‍යයේ විප්ලවීය ජවය, තව අවුරුදු කීපයක් වෙනුවෙන් මිය යා නොදී ‍රැක ගැනීම ඔහුට පැවරී ඇති රාජකාරීය ය. ඔහු දැනුවත්ව හෝ නොදෑනුවත්ව සේවය කරනුයේ ලංකාව අරාජික කිරීමේ අමෙරිකානු මාස්ටර් ප්ලැනක් වෙනුවෙනි.ඔහු ඇමේරිකානු ඔත්තු සේවා විසින් බිලි බා ගත් පුද්ගලයකු සේ එක එල්ලේ වර්ග කිරීමට කරුනු කාරනා නොමැති උවද ඒ සදහා ඉඩකඩක් නැත්තේම ද නොවේ.

එසේ නොමැති නම් ඔහුගේ මේ ව්‍යායාමය ජවිපේ තුල තම නායකත්වය තහවුරු කර ගැනීම සදහා දියත් කල පෞද්ගලික උත්සහයක් වීමටද ඉඩ කඩක් ඇත . මේ සදහා ඔහු ප්‍රජාත්‍රන්ත රාමුව තුල ජවිපේ දිගින් දිගට ලබන පසුබැම් හමුවේ නොඉවිසිලිමත් ජවිපේ තරුණ කොටස් පාවිච්චි කරනවා වීමටද පුලුවන. කෙසේ නමුත් වාර්තා වන අන්දමට, උතුරේ ද්‍රවිඩ තරුනයන් සමග වඩා බද්ධ උනු ජවිපයක් නිර්මානය කිරීම කුමාර මහතාගේ අරමුනක් බව පෙනෙනවා.. මෙය උතුරත් , දකුණත් එකවර කැ‍රැල්ලකට යොමූ කිරීමේ මූලික උත්සහයක් වීමට ද ඉඩ තිබෙනවා. මෙවන් කැ‍රැල්ලක් හමුවේ, නාහෙට අහන්නැති රාජපක්ශවරුන් පලවා හැර ශ්‍රී ලංකා දේශපාලන සිතියම තුල තමන්ට අවශය්‍ය ඉත්තන් එහාට මෙහාට කිරීමේ කර්තව්‍යය ඇමෙරිකාව හා ඉන්දියාව මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.


දැන් ඉතින් මේ ලිපියෙන් මයියා බිල්ලෝ දෙන්නේක් 'මවා' හෝ 'පෙන්වා' දී තිබෙනවා. එනම් ඇමේරිකානු බිල්ලා හා ජෙවීපී කැරලි බිල්ලා ය. මෙය සැබවින්ම මවා පැමක්ද නැතිනම් භූමී යථාර්තය දැයි කියා තීරණය කල යුත්තේ මෙය කියවන සීමිත බුද්ධිමත් පාඨකයාය. මේ දේශපාලන ප්‍රහෙලිකාවට අදාල වැදගත්, නොවැදගත් සිදුවීම් නුදුරු වකවානුවේදී අප අතරම සිදුවන්නේය. එහෙත් එම ප්‍රෙහෙලිකාවේ හරස්පද සිරස්පද පුරවා අවසාන උත්තරය තීරනය කල යුත්තේ බුද්ධිමත් පාඨක ඔබය. කෙසේ නමුත් ලOකාව යනු ඇමේරිකාවේ තවත් එක් දේශපාලන පරීක්ෂනාගාරයක් නොවේවායි මයියා ගේ පැතුමයි......

P.S:

I published this article on 02/10/2011. The following links which depicts subsequent incidents will substantiate this argument. Judgement is yours!!!

16/10/2011
dissident groups receives funds from diaspora (HW this news has been challenged by dissident group)


20/10/2011
IUSF builds links with Jaffna
http://www.lankaenews.com/Sinhala/news.php?id=18541

13/12/2011
Divayina

Sunday, 25 September 2011

මං ආසම.....බොරුකාරයන්ට.....

අපේ රටේ දේශපාළුවෝ කටේ දිවේ නොගැවී කෙප්ප ඇද බෑමට අති රුසියෝය. මොවුන්ගේ ගල් පැලෙන බොරු පොරොන්දු ජනතාවත් ගොන්නු රෑනක් සේ අසා සිටින්නෝය. බොරු කෙලින දේශපාළුවා තමන් කියන්නේ බොරුවක් බව දනියි. එය අසා සිටින ජනතාවද මෙය බොරුවක් බව දනියි. එහෙත් කිසිවෙකුටත් වගේ වගක් නැත. විහිලුම කාරණය වන්නේ තමන්ගේ එදිනෙදා වැඩද පාඩු කරගෙන මේ මෝඩ ජනතාව ටෙලිවිශන් එක ඉස්සහරට වී බොරුකාර දේශපාලුවාගේ කතා, බොරූ බව දැන දැන අසා සිට, නින්දට ගොස්, ඊලග දවසේද බොරු කෙලිනවා බලන්න ටෙලිවිශනය ඉස්සහරා පැලපදියම් වීමයි. බොරුවක් කිව්වයි කියා දේශපාළුවාටද ගානක් නැත. ජනතාවට ද ගානක් නැත. ජනතාව දේශපාලුවා ප්‍රශ්න කරන්නෙ නැති අතර දේශපාළුවාට ප්‍රශණයක් පැන නගිනේද නැත. ඒ වෙනුවට මේ මෝඩ ජනතාව ආකර්ශණියම බොරු කියන්නා වැඩිම ජන්දයේන් පාර්ලිමේන්තුව්වට පත් කර යවා , මේ බොරුකාරයන් රට ආශ්චර්‍යක් කරනවා බලන්න හීන මවයි. රටේ අශ්චර්ය්‍ය කෙසේ වෙතත් දේසපාළුවාගේ ආශ්චර්ය්‍ය දැක අවසානයේ හිත හදා ගනී.

ආන්ඩු හා විපක්ෂ යන දෙයාකාරම බොරුකාර ‍රැලේ අලුත්ම චරිතය වන්නේ ජවිපේ නායක සෝමවංශ අමරසිංහ මහතාය.සුමානෙකට පමන පෙර පක්ශය ඇතුලේ මහත් අර්බුදයක් ඇති වී , පක්ශය දෙදරා යාමට ආසන්න මොහොතේත් මේ බොරුකාර නායකයා තමන්ගේ පක්ශය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැති බව ඇගට පතට නොදැනී කියා සිටියේය.දැන් දැන් සියල්ල මාධ්‍ය මගින් එලි කරන ලැබුවායින් පසු , තව දුරටත් තමන්ගේ බොරුව ඉදිරියට ගෙන යාමට බැරි කොට , මෙතෙක් කල් තමන් වාදනය කල තැටිය වෙනස් කර පක්ෂය තුල ප්‍රශ්ණයක් ඇති බව හෙතෙම පිලිගන්නේය. බොරු කියූ ඔහුටත්, බොරු ඇසු අපටත් කිසිම ප්‍රශ්නයක් නැත.


කිසියම් පක්ශයක් තුල සිදුවන සියලු කරුනු කාරනා මහජනතාවට එලි කල යුතු යැයි මයියා අදහස් කරන්නේ නැත. ඒසේ කල යුතු ද නැත. එහෙත් කුමන කාරනයක් සදහා උවද ඇගටපතට නොදැනි බොරු කියන මේ දේශපාලන සම්ප්‍රදායට විරුද්ධ වීම මහජනතාවගේ යුතුකමය. එය සෝමවංශ මහතාට පමනක් නොව , රනිල් මහතාගේ සිට මහින්ද මහතා දක්වා සිදු විය යුතුය. ඒ අතින් ටිල්වින් සිල්වා මහතා යම් තරමකට හෝ ජනතාවට බොරු නොකියා තමන්ගේ පක්ශය ඇත්ලේ ඇති මත ගෑ‍ටුමක් ඇති බවද ඒය පක්ශය ඇතුලේ විසදා ගන්නා බව ද ඉතා නිවැරදිව කියා සිටියේය.

පක්ශ පාට බේදයකින් තොරව බොරුකාරයන් නිරාවරනය කිරීම ජනතාවගේ යුතුකමය. එහෙත් ප්‍රශ්ණය වන්නේ මේ රටේ බහුතර ජනතාවද බොරු කාරයන් වීමය. දරුවෙකු මෙලොව උපන් දා සිටම ඔහුව හුරු කරන්නේ ‍රැවටීමට හා බොරුවටය. මෙසේ හැදී වැඩෙන දරුවා බිහිකරන සමාජය තුල බොරුව සාමාන්‍යකරනය වීම ගැන පුදුම විය යුතු නැත.

බොරු කියන්නාට නොකල හැකි පවක් නැත. බොරුවෙන් ජීවත් වන අප සමාජයටත්, ඉදිරියට ඉපදෙන්න සිටින දුවා දරුවන්ටත් දෙයියන්ගේම පිහිටය.

Wednesday, 21 September 2011

කාලය වෙනස් කරන්නට පැමින..කාලයට අනුව වෙනස් වීම හෙවත් වර්තමාන ජේවීපි අවුල


විජේවීර සහෝදරයා ජවිපේ හැදුවේ ජනතාවට උගන්වන්න මිසක ජනතාවගෙන් ඉගෙන ගන්න නොවේය. එහෙත් අවසාන විග්‍රහයේදී, භූමියේ යථාර්තය වී ඇත්තේ විජේවීරට පමණක් නොවෙ මුලු ජවිපේ යාන්ත්‍රනයටම ජනතාවෙගෙන් පාඩම් ඉගෙන ගැනීමටය..මාක්ස්වාදයේ මහප්‍රාණ වචන ටිකත්, සිංහල ජාතිකත්වයේ ආවේගශීලීත්වයත් කලවම් කර ජනතාවට මැජික් පෙන්වීමට උත්සාහ කල ජවිපේට අද සිදූ වී ඇත්තේ තමන් ජනතාවට පෙන්වීමට උත්සාහ කල ඊනියා මැජික් සංදර්ශනයේ බංකොලොත් මැජික්කරුවාත් , අඥාන ප්‍රේක්ශකයාත් යන භූමීකා දෙකම තමන් විසින් තමන්ටම රග දක්වා ගැනීමටය.1966 කැලැත්තෑවේ සාකච්චාවේ සිට , එනම් ජවිපේ මුලාරම්භයේ සිටම, අවුලක් වූ ජවිපේ මාක්ස්වාදී ජාතිකත්ව පැටලුම , ජීවිත දහස් ගණනක් බිලි ගත් අසාර්ථක ආණ්ඩු විරෝධී කැරලි දෙකකට පසුවත්, තවමත් විසදා ගත නොහී, නූතන තොරතුරු තාක්ශණ යුගයේ පවා, තවත් එක් ආණ්ඩු විරෝධී කැ‍රැල්ලක් සදහා අර අදිමින් සිටිනවා.

වාර්තා වන අන්දමට ජවිපේ නිල නොවන නායකයා ලෙස ඕස්ට්‍රේලියාවේ සැගවී කටයුතු කල 'කුමාර මහත්තයා' නොහොත් ප්‍රේමකුමාරන් ගුනරත්නම් ,වර්තමාන ජවිපේ අභ්‍යන්තර අරගලයේ එක පාර්ශවයක් නියෝජනය කරන අතර අනෙක් පාර්ශවය ජවිපේ නිල නායකයා ලෙස කටයුතු කරන සෝමවංශ අමරසිංහ ප්‍රධාන ටිල්වින් සිල්වා යන අයවලුන් නියෝජනය කරනවා.මුලදී මත අරගලයක් ලෙස අර්ථකථනය කලද දැන් දැන් පක්ශයේ අයිතිය සම්භන්දව නීතී මාර්ගවලට යෑමට තරම් කාරණාව දිග් ගැසී තිබෙනවා. මෑතකාලිනව සිදු වූ නන්දන ගුණතිලක හෝ විමල් වීරවංශ වැනි පුද්ගල කේන්ද්‍රගත බිදී යෑම් මෙන් නොව , මෙවර ඇතිවන බේදීම පක්ශයේ අයිතිය, මතවාදය හා ඉදිරි අරමුනු ඉලක්ක කර ඇතිවන ප්‍රධාන බිදී යාමක් බවට ඒත්තු ගැන්වෙන කරුනු කාරනා මේ වන විට සිද්ධවෙමින් පවතිනවා. 1993- 1995 කාලවකවානුවේදී පැරිසිය කේන්ද්‍ර කරගත් සෝමවංශ අමරසිංහ හා ලන්ඩනය මුල් කරගත් , විජේවීරගේ මස්සිනා වූ චන්ද්‍රා ප්‍රනාන්දු අතර සිදු වූ පක්ශයේ නම හා නිල ලාංචනයයේ අයිතිය පිලිබද ගැටලු සහගත තත්වයට පසු , එවන් ප්‍රධාන අරගලයක් පක්ශය තුල සිදුවන ප්‍රථම අවස්ථාව මෙය වනවා. පක්ශයේ බිම් මට්ටමේ ස්ථානගතවී ඇති ශක්තිමත් යාන්ත්‍රණය හරහා මුල් කී සදහන් වූ නන්දන ගුණතිලක හා විමල් වීරවංශ කෑඩී යැම්, ලාංකික දේශපාලනය තුල කෙසේ වෙතත් පක්ශ අභ්‍යන්තරය තුල කලමණාකරනය කර ගැනීමට ජවිපේ පක්ශයක් වශයෙන් ශක්තිමත් උවත් මේවර ඇතිවන දෙදරා යෑම , මෙම බිම් මට්ටමේ ජවිපේ ක්‍රියාකාරීන් වික්ශිප්ත තත්වයකට පත් කරමින් සිටිනවා. පක්ශයේ ප්‍රචාරක යාන්ත්‍රණය කුමාර හිතවාදින් සතුව තිබීම මෙයට එක් ප්‍රබල හේතුවක් වෙනවා. පක්ශයේ නිල පුවත්පත වන 'ලංකා' පුවත්පත කුමාර හිතවාදියෙකු වන ලසිත් නමින් හැදින්වෙන පුබුදු ජාගෝඩ විසින් මෙහෙයවීම හා පක්ශයේ අධ්‍යාපන අංශයේ ප්‍රකාශනය වන 'සාර්‍යා' කුමාර තමන් විසින්ම මෙහෙය වීම මෙසේ පක්ශයේ ප්‍රචාරක යාන්ත්‍රනයේ බලය කුමාර හිතවාදීන්ට නතු වීමට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙනවා.

පක්ශයේ භෞතික දේපල සම්භන්දයෙන්ද පවතින්නේ මේ ආකාරයේම ගැටලුවක්. මදනායක නැමැත්තකු නමට ලියා තිබු බත්තරමුල්ලේ පිහිටි පක්ශ ප්‍රධාන කාර්‍යාලය පසුගිය සුමානයේ ටිල්වින් සිල්වා විසින් තමන් අතට පවරා ගත් නමුත්, ඊට පසුව මෙම ගැ‍ටුම් ව්‍යාප්ත වීමේදී , මදනායක නැමැත්තා තමන් සතුව තිබූ පක්ෂයේ වාහන කීපයක අයිතිය ටිල්වින් සිල්වා වෙත පවරා දීම ප්‍රතික්ශේප කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ශ කාර්යාලය සම්භන්දවද මෙවැනිම ආකාරයේ ගැටළුවකට ටිල්වින් සිල්වා විසින් මුහුන දී සිටිනවා. මේ අතරතුර සෝමවංශ හිතවාදී පිලේ ඇතැමෙක්, ආගමන විගමන නිතී උල්ලංගනය කිරීම සම්භන්දයෙන්, දැනට ලංකාවේ ‍රැදී සිටින කුමාර මහත්තයා ආන්ඩුව ලවා අත් අඩංගුවට ගැනීමේ උත්සහයකද නිරත වී සිටිනවා. කෙසේ නමුත් කුමාර මහත්තයා සතු පක්ශයේ රහස් නැතහොත් සෝමවංශ කණ්ඩායමේ අප්‍රසන්න රහස් එලි වේයැයි බියෙන් මේ සදහා සම්පූර්ණ උත්සහය නොයෙදුවත් , කරුනු කාරනා කලමනාකරනය කර ගත නොහැකි මට්ටමට ගියොත් මේවැනි දෙයක් සදහාද ඉඩකඩක් පවතිනවා.

මතුපිටින් මොන අකාරයට පෙනුනත්, ජවිපේ වර්තමාන දෙදරා යාමට ද හේතුව එහි ජාතිකත්වය හා මාකස්වාදය පිලිබද ව ඇති අභ්‍යන්තර අවුල් සහගත තත්වයයි. කොටින්ම කියතොත් මේ සිදුවන්නේ ..ලංකා පොලොව තුල නිර්ධන පංතියේ විප්ලවයක් අපේක්ෂා කරන අතාත්වික දේශපාලන සිහින දකින්නන් කීපදෙනෙක් හා ඊනියා නිර්ධන පංතිය පිලිබද නිර්විඥාත්විකව තේරුම් ගත් ප්‍රායොගික දේශපාලන අම්බරුවන් කීප දෙනෙක් අතර ගැ‍ටුමකුයි...... අවුරුද්දේ 365 දවසෙම ඉර මුදුන් වෙන , මොනවා නැතත් කොස් ගෙඩියක් හෝ දෙල් ගෙඩියක් තම්බා බඩගින්න නිවා ගත හැකි සමාජයක , සාර් යුගයේ රුසියාවේ සිටි සීතලේ වෙව්ලන හාමත් කම්කරුවා නොමැති බව තේරුම් නොගැනීම ජවිපේ අවසානාවක් නොව, ඊනියා නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් උදෙසා තමන්ගේ වටිනා තරුන ජිවීත ලෙයින්, දහඩියෙන් හා කදුලින් කැප කල අඥාන, අසරන ලාංකික තරුනයාගේ අවාසනාවයි.... ලාංකීය බහුතරය ප්‍රකම්පිත වන්නේ කවදාවත් යථාර්තයක් නොවන කන්න බොන්න නැති හාමතේ මියයාමක් වෙනුවෙන් නොව මිලේජ්‍ය ත්‍රස්තවාදයකට ඒරෙහි ජාතිකත්වයේ ගිණිපුලිගු වෙනුවෙන් බව මේ දේශපාලන සටකපටයන් තේරුම් ගෑනිම මොවුන්ගේ ජාතිකත්ව මාකස්වාද අර්බුධයේ මූලික හේතුවයි. බලය වෙනුවෙන් ජාතිකත්වය නොව ජාතිවාදය උවද කරට ගැනීම.... , ඊනියා පංති සටනක් ගැන විශ්වාසයෙන් සිටින මේ දේශපාලන අවස්ථාවාදීන්ට ඉතා සුලු දෙයක්ය. අද සිදුවන්නේ මෙසේ හවුලේ කඩේ ගිය, ඒසේ කඩේ ගොස් අනාගෙන සිටින, .... නමුත් තමන් අනාගත් බව නොදන්නා හා තමන් අනාගත් බව තේරුම් ගත් කන්ඩායම් දෙකක් අතර ගැ‍ටුමක්ය.
( this was written on 21 st of Sept 2011: Mayya)

see Vijitha Herath Replies on 24/09/2011

see Divaina article on 25/09/2011

අශ්‍රිත ලිපි : http://www.sundaytimes.lk/110918/Columns/political.html